ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Friday, October 22, 2010

මහළු මඩම දඟ ගෙයක්ද



2006 වර්ෂයේ ඉඳන් අපේ මියගිය ආච්චියි,සීයයි වෙනුවෙන් සෑම ඔක්තෝබර් මාසයේම අපි බදුල්ලේ කයිලගොඩ වැඩිහිටි නිවාසයට දානයක් දෙනවා.ඊයේ තමයි දිනය ඒ කියන්නේ ඔක්තෝබර් 22.ඊයේ තමයි මට ප්රලථම වතාවට ඒ සඳහා එන්න පුලුවන්කම ලැබුනේ.අනෙකුත් හැම වර්ෂයකම මම හිටියේ කැම්පස් එකේ නිසා එන්න බැරිවුනා.
ඉතින් වැඩිහිටි නිවාසයේ නැවතිලා ඉන්න අය එක්ක ගොඩක් කතාකලා.ඔක්කොම 70ක් විතර ඉන්නවා මේ වෙනකොට.ඉතින් ඔහොම ඉන්නකොට එතන හැමදේම හොයල බලල කරන ආච්චි කෙනෙක් හිටියා.මම එයාගෙන් විස්තර ඇහුවා.එතකොට ඒ ආච්චි කියපු කතාව තමයි මේ.ඒ ආච්චිට දැන් වයස 64යි.

මගේ ගම තිබුණෙ මාරවිල.මට පුතාලම 5 දෙනෙක් ඉන්නවා.මගේ පුතාල 5 දෙනාම දැන් කසාද බැඳලයි ඉන්නේ.මම නැවතිලා හිටියේ ලොකු පුතාගේ ගෙදර.ඒ දවස්වල නම් මට කිසිම අඩුවක් මගේ පුතා දැනෙන්න දුන්නෙ නෑ.ඒත් දැන් එයාට වගකීම් වැඩි.එයාගේ නෝනා ගැන බලන්න ඕන.ඉතින් වෙනද වගේ එයාට මට සලකන්න බැරිවුනා.මමත් එහෙම සැලකිලි බලාපොරොත්තු වුනෙත් නෑ.ඉතින් ඔහොම ඉන්නකොට එයාලට දරුවෙක් ලැබුණා.පුතෙක්.අර කතාවටත් කියනවනේ ආච්චිලා තමයි පොඩි දරුවන්ව නරක් කරන්නෙ කියලා. දරුවව පොඩි කාලේ ඉඳල බලාගත්තෙ මමයි.දරුවට අවුරුද්ද ලබනකොට දරුවගේ අම්ම ඒ කියන්නේ මගේ ලේලි රස්සාවෙන් අස්වුනා.ඉතින් ඊට පස්සෙ දරුවව මම ලඟට වැඩිය එව්වෙ නෑ.ලේලි දරුවට සමහර අවස්ථාවල සැරකරනවා.එතකොට මට වාවන්නෙ නෑ.මම දන්නවා පොඩි දරුවන්ට සැර කරන්නේ එයාලව හදාගන්න.ඒත් ඉතින් අපි කොහොමද ඒ දේවල් බලන් ඉන්නේ.අනේ මන්දා.වයසෙ හැටි වෙන්නැති.
පොඩි දරුවට සැරකරනකොට "ආච්චිඅම්මා" කියාගෙන මම ලඟට දුවගෙන එනවා.එතකොට මට තවත් වාවන්නෙ නෑ. දවසක් මම කුස්සියේ පිඟන් වගයක් සෝදමින් හිටියා.මට දරුව අඬන සද්දෙ ඇහිලා මම සාලෙ පැත්තට ගියා.වෙනද වගේම දරුවා "ආච්චිඅම්මා" කියාගෙන මගේ ඇඟේ එල්ලුනා.ඒ වෙලාවේ මට ලේලිත් එක්ක පුදුම තරහක් ආවා.ලේලිට ගහන්න බැරිකමට මම අතේ තිබුණ පිඟන් ටික බිම දාල දරුවත් වඩාගෙන මිදුලට ආවා.එදා මට මගේ ලේලි නොසෑහෙන්න බැන්නා.වෙනස්කම් කරන්න පටන්ගත්තා.මගේ පුතත් ඒවට මොකුත් කිව්වෙ නෑ.බැරිම තැන ඕන දෙයක් කියලා ඇඳුම් කෑලි දෙකක් මල්ලක දාගෙන කිසි අරමුණක් නැතිව පාරට බැස්සා. හෙමින්ම බස් හෝල්ට් එකටත් ආවා.මගේ ලඟ සල්ලි සතයක්වත් තිබුණෙ නෑ.මම මොකුත් කරකියාගන්න දෙයක් නැතිව ඔහේ බලාගෙන හිටියා.එතකොට හදිසියේ එතනට පිරිසක් ආවා.පසුව තමා දැනගත්තේ එයාල බදුල්ල මුතියන්ගන විහාරයේ දානමය පින්කමකට යන්නයි මේ හදන්නෙ කියලා.පස්සේ ඒ නඩේ ඉන්න මහත්තයෙකුට මම ගෙදරින් ආ බවත් මාවත් බදුල්ලට රැගෙන යන ලෙසත් මම ඉල්ලීමක් කලා.එයාල මුලදි අකමැති වුනත් පසුව කැමතිවුනා.බස් ටිකට් එක රුපියක් 200 ගානක්.මම පුදුම වුනා බදුල්ල මෙච්චර දුරද කියලා.
කොහොමහරි අපි ඔක්කොම බදුල්ලට ආව.ඒත් සිද්ධවුනේ වෙන දෙයක්.මාව එක්කන් ආපු අය එක්කෙනෙක් වත් නෑ.එයාලා මට නොකියම ගිහින්.මම හයියෙන් ඇඬුවා.මම ආගමේ කෙනෙක්.ඒ නිසා මම කඩේකට ගිහින් ඇහුවා පල්ලියක් තියෙන තැනක්.එයාලා යන්න ඕන විදිය කිව්වා.ඒත් මම අඩියෙන් අඩිය කටිටියෙන් අහගෙන කොහොමහරි පල්ලියකට ගියා.එදා පල්ලියේ ලොකු උත්සවයක් පොලි ලමයින්ගේ.මම එතන තිබුණ ටැප් එකකින් වතුර ටිකක් බීලා එළියේ පඩියක වාඩිවෙලා හිටියා.
එහෙම ඉන්නකොට පොඩි දරුවෙක් "ආච්චිට මේක දෙන්න කිව්වා" කියලා පොඩි කෑම පාර්සලයකුයි,රුපියල් 50 කුයි මගේ අතට දුන්නා. මම පස්සෙ පල්ලියේ ෆාදර් හම්බුනා ගිහින්.මම ෆාදර්ගෙන් ඉල්ලුවේ මට පල්ලියේ නවතින්න ඉඩ දෙන ලෙසයි.ඒත් එතුමා කිව්වේ පල්ලියේ ගැහැනු අයට නවාතැන් ලබා දීමට නොහැකි බවයි.කොහොමවුනත් එතුමාගෙන් තමයි බදුල්ලේ පිහිටි වැඩිහිටි නිවාසය ගැන දැනගත්තේ.එතුමා කිව්වා පන්සලට ගිහින් හාමුදුරුවො හම්බෙලා විස්තරේ කියන්න කියලා.එයා උදව්කරයි කිව්වා.මම පන්සලට ගිහින් ලොකු හාමුදුරුවො හම්බෙලා විස්තරේ කියලා වැඩිහිටි නිවාසයට යන්න ලියුමක් ඉල්ලුවා.ලොකු හාමුදුරුවෝ කිව්වේ ලියමුක දෙන්න විදියක් නැහැ,කමක් නෑ අම්ම යන්න මම කෝල් කරල කියන්නම් කියලා. කොහොමහරි හොයාගෙන හොයාගෙන වැඩිහිටි නිවාසෙට ගියා.මම එතනට යනකොටත් හාමුදුරුවො කෝල් කරල කියල තිබ්බා.ඒත් එයාල කිව්වේ මට උදේ වෙනකන් විතරක් ඉන්න දෙන්නම් කියලා.ඒත් පස්සෙ මට අනුකම්පා කරලා මාව නවත්තගත්තා.මේ වනවිට මම මෙහෙට ඇවිත් අවුරුදු 2ක් වෙනවා.තාම මගේ පුතාලා මාව බලන්නවත් ආවේ නෑ.මට මෙහෙ හොඳයි.

මෙහම කියලා ඒ ආච්චි හයියෙන් අඬන්න ගත්තා.ඒ කතාව අහන් හිටපු අපි ඔක්කොටමත් ගොඩක් දුකයි.වැඩිහිටි නිවාසයේ ඉන්න අයගෙන් ගොඩක්ම කට්ටිය හොඳ හොඳ සල්ලි කාරයන්ගේ අම්මලා තාත්තලා.ගුරුවරියන් දෙන්නෙකුත් හිටියා.අනේ මන්දා.දෙමව්පියන්ට සලකන්නෙ නැති එවුන් කොච්චර සල්ලි හම්බ කලත් වැඩක් වෙයිද? මුන් පොල්කිරි බීල වෙන්නැති හැදුනේ.කාලකන්නියෝ.

තව සීය කෙනෙක් හිටියා.එයා ටිකක් අවසිහියෙන් වගේ ඉන්නේ.එළියට වෙලා වාඩිවෙලා ඉන්නවා.අපි ඇහුවා ඇයි සීයේ ඔතන ඉන්නේ යමු ඇතුලට කියලා. එතකොට ඒ සීයා කිව්වේ "මගේ පුතා එනව කිව්වා මාව එක්කන් යන්න ඒකයි මම මේ බලන් ඉන්නෙ කියලා.ඒ සීයා හැමදාම එහෙමලු.ඒත් මේතාක්කල් ආපු පුතෙක් නැහැලු.

මේ විදියට දෙමව්පියන්ට සලකන එවුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනවා...
Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා